Reviewed by Dr Matheesha N Jayarathne (MBBS), on 12.07.2026
දල අදහස
ලෝකයේ ජනගහනයට සාපේක්ෂව සර්ප දෂ්ට කිරීම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. අපේ රටේ වසරකට සර්ප දෂ්ට කිරීම් 30,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර, ඉන් වසරකට පුද්ගල මරණ 100ක් පමණ සිදු වෙනවා.ශ්‍රී ලංකාවේ ගොඩබිම වෙසෙන සර්ප විශේෂ අතුරින් වෛද්‍ය විද්‍යාත්මකව ඉහළම අවධානයක් යොමු කළ යුතු, මාරාන්තික විෂ සහිත සර්ප විශේෂ 10ක් පමණ ජීවත් වෙනවා. (මීට තිත් පොළඟා, වැලි පොළඟා, කරවලා, තෙල් කරවලා, සහ නාගයා වැනි සර්පයන් ප්‍රධාන වශයෙන්ම අයත් වේ).
ලෝකයේ ජනගහනයට සාපේක්ෂව සර්ප දෂ්ට කිරීම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. අපේ රටේ වසරකට සර්ප දෂ්ට කිරීම් 30,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර, ඉන් වසරකට පුද්ගල මරණ 100ක් පමණ සිදු වෙනවා.ශ්‍රී ලංකාවේ ගොඩබිම වෙසෙන සර්ප විශේෂ අතුරින් වෛද්‍ය විද්‍යාත්මකව ඉහළම අවධානයක් යොමු කළ යුතු, මාරාන්තික විෂ සහිත සර්ප විශේෂ 10ක් පමණ ජීවත් වෙනවා. (මීට තිත් පොළඟා, වැලි පොළඟා, කරවලා, තෙල් කරවලා, සහ නාගයා වැනි සර්පයන් ප්‍රධාන වශයෙන්ම අයත් වේ).
විෂ සහිත සහ විෂ රහිත සර්පයන් හඳුනා ගන්නේ කෙසේද?
විෂ සහිත සර්පයන්: බොහෝ විෂ සහිත සර්පයන්ගේ කණිනිකාව බළලුන්ගේ වගේ ඉරි කෑලි (Slits) වගේ පිහිටලා තියෙනවා. උන්ගේ හිස ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා අතර විෂ දළ පිහිටා තිබෙනවා.
විෂ රහිත සර්පයන්: විෂ රහිත සර්පයන්ගේ හිස සාමාන්‍යයෙන් රවුම් හැඩයක් ගන්නා අතර, ඇස්වල කණිනිකාව (Pupils) රවුම් හැඩතියි. උන්ට විෂ දළ නැහැ.(කෙසේ වෙතත්, කරවලා වැනි ඇතැම් අධික විෂ සර්පයන්ගේ හිස සහ කණිනිකාව රවුම් හැඩයක් ගන්නා බැවින්, සර්පයා 100%ක්ම විශ්වාස නැත්නම් විෂ සහිත සර්පයෙකු ලෙස සලකා කටයුතු කිරීම නුවණට හුරුය).
රෝග ලක්ෂණ
බොහෝ විට සර්පයන් දෂ්ට කරන්නේ මිනිසුන්ගේ අත්, මැණික් කටුව හෝ පාද වැනි ප්‍රදේශවලටයි.
විෂ නොමැති සර්පයෙකු වැදුණු විට: දෂ්ට කළ ස්ථානයේ සුළු වේදනාවක්, සීරීමක් හෝ පීරී ගිය තුවාලයක් පමණක් දැකිය හැකියි. නමුත් උග්‍රවිෂ පවතින කරවලෙකු දෂ්ටනයකදී සීරිමක් හෝ වේදනාවක්ද නොමැත.
විෂ සහිත සර්පයෙකු වැදුණු විට: දෂ්ට කළ ස්ථානයේ අධික වේදනාවක් සහ තද ගතියක් ඇති වේ. පසුව එය තුවාලය වටා සහ මුළු අත හෝ කකුල පුරාම ඉදිමීමක් සහ නිල්/කළු වීමක් (Bruising) දක්වා වැඩි විය හැක. මීට අමතරව වමනයට ඒම, හුස්ම ගැනීමේ අපහසුව, අධික තෙහෙට්ටුව සහ කටට අමුතු ලෝහමය රසක් දැනීම වැනි ලක්ෂණ ඇති විය හැක. ස්නායු පද්ධතියට බලපාන විෂ (Neurotoxins): ඇතැම් සර්පයන්ගේ විෂ (උදා: නාගයා, කරවලා) මොළයට සහ ස්නායු පද්ධතියට බලපායි. එවිට ඇස් පිහාටු කඩා වැටීම (Drooping), අත් පා හිරිවැටීම, කෙළ ගිලීමේ අපහසුව, පෙනීම බොඳවීම සහ මාංශ පේශි පණ නැති වීම වැනි ලක්ෂණ මතු වේ.වියළි දෂ්ට කිරීම් (Dry bites): ඇතැම් වෙලාවට විෂ සහිත සර්පයෙකු බියට පත්වී දෂ්ට කළත්, සිරුරට විෂ ඇතුළු නොකරන අවස්ථා තිබේ. මෙය “වියළි දෂ්ට කිරීමක්” ලෙස හැඳින්වේ.
නමුත් රෝහලකට යන තෙක් එය වියළි දෂ්ට කිරීමක්දැයි අපට තීරණය කළ නොහැක.
කළ යුතු ප්‍රථමාධාර
හදිසි වෛද්‍ය සේවා අමතා, වෛද්‍යවරයෙකු වෙත යනතුරු පහත පියවර අනුගමනය කරන්න: සර්පයාගෙන් ඈත් වන්න: නැවත දෂ්ට කිරීමට ඇති ඉඩකඩ අහුරන්න. රෝගියා සන්සුන් කරන්න: කලබල වී දිවීම හෝ බිය වීම නිසා හෘද ස්පන්දනය වැඩි වී විෂ ශරීරය පුරා වේගයෙන් පැතිර යා හැක. ආභරණ සහ තද ඇඳුම් ගලවන්න: ඉදිමීම ආරම්භ වීමට පෙර අත් ඔරලෝසු, මුදු, පාදවල පා වළලු හෝ තද ඇඳුම් වහාම ඉවත් කරන්න. නිසලව තබන්න: දෂ්ට කළ බාහුව (අත හෝ කකුල) සෙලවීමෙන් වළක්වා, සුවපහසු මට්ටමක නිසලව තබන්න.තුවාලය පිරිසිදු කරන්න: සබන් සහ වතුර යොදා තුවාලය මෘදුව සෝදා, පිරිසිදු වියළි රෙදිකඩකින් හෝ බැන්ඩේජ් පටියකින් බුරුලට වසන්න.
නොකළ යුතු දේවල් (විශේෂයෙන්ම මතක තබා ගන්න)
තුවාලයට ඉහළින් තද කර ලණු, රෙදි පටි (Tourniquet) ගැටගසන්න එපා. එමඟින් ලේ ගමනාගමනය නතර වී අත හෝ කකුල කපා ඉවත් කිරීමට පවා සිදු විය හැක. තුවාලයට අයිස් තබන්නත් එපා.තුවාලය පිහියකින් කපන්න, ලේ මිරිකන්න හෝ කටින් විෂ ඇදීමට (උරා බීමට) උත්සාහ කරන්න එපා.කැෆේන් (තේ/කෝපි) හෝ මධ්‍යසාර (අරක්කු/බියර්) බොන්න දෙන්න එපා.ඇස්පිරින් (Aspirin) හෝ ඉබුප්‍රොෆෙන් (Ibuprofen) වැනි වේදනා නාශක පෙති බොන්න එපා. ඒවායින් අභ්‍යන්තර රුධිරය වහනය වීම (විශේෂයෙන් පොළොන් විෂ නිසා සිදුවන ලේ ගැලීම්) බරපතල විය හැක.සර්පයාව ඇල්ලීමට හෝ පොලුවලින් ගසා මැරීමට උත්සාහ කර කාලය නාස්ති කරන්න එපා. සර්පයාගේ හැඩය සහ පාට මතක තබා ගන්න. ආරක්ෂිත දුරක සිට ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගත හැකි නම් වඩාත් සුදුසුයි. සර්පයා කවුදැයි නිවැරදිව හඳුනා ගැනීම වෛද්‍යවරුන්ට නිවැරදි ප්‍රතිවිෂ එන්නත තෝරා ගැනීමට උපකාරී වේ
⚠️ අනතුරු ලකුණු — වහාම රෝහලට
• සර්පයෙකු දෂ්ට කළහොත් වහාම 1990 සුවසැරිය ගිලන්රථ සේවය අමතා ළඟම ඇති රජයේ රෝහල වෙත රෝගියාව රැගෙන යන්න.
• ව්ශේෂයෙන්ම සර්පයා දෂ්ට කළ ස්ථානය ඉදිමීම, පාට වෙනස් වීම හෝ අධික වේදනාවක් ඇත්නම් කිසිසේත්ම පමාවෙන්න එපා.
• ලංකාවේ රජයේ රෝහල්වල මේ සඳහා අවශ්‍ය ප්‍රතිවිෂ එන්නත් (Antivenom) නොමිලේ ලබාදීමට සූදානමින් පවතිනවා.
🩺 වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කවදාද?
එම සර්පයාගේ ලබාගත් පින්තුරයක් සමඟ හෝ නොමැතිව හැකි ඉක්මනින් හමුවිය යුතුය.
Reviewed by: Dr Matheesha N Jayarathne, (MBBS), Teaching Hospital Kurunegala
Last updated: 2026-07-12
Leave a Reply